Subscribe Twitter

මා ගැන යමක්

ආයු‍‍බෝවන් හැමෝටම,
මේ බ්ලොග් පෝස්ට් එකත් එක්කම මමත් ඔයගොල්ලන්ගේ බ්ලොග් ලෝකයට අලුත් සාමාජිකයෙක් විදියට එකතු වෙනවා. අවුරුදු ගණනාවක්ම බ්ලොග් එකක් ලියන්න ඕනේ කියල හිත හිතා උන්නට ඒ වැ‍ඩේ හැමදාම කල් ගිහින්, අද තමයි ඇත්තටම ලියන්න පටන් ගත්තේ.  ඔයගොල්ලො අනිත් අය වගේම මාවත් බ්ලොග් ලෝකයට සාදරයෙන් පිළිගනීවි කියල හිතනවා.
මම සුපුන් මධුශංක, ඉපදුනේ මාතර, පොඩිකාලේ හැදුනේ වැඩුනේ ලුණුගම්වෙහෙර කියන පුංචි නගරයක. පහ වසර දක්වා පාසල් ගියේ ඒ නගරයේ තියෙන, හ/ කු‍ඩාගම්මාන 03 කණිටු විදුහලට. ඊට පස්සේ අපි ‍අපේ අම්මගේ ගම වුනු ‍බෙලිඅත්ත නගරයට පදිංචිය‍ට ආවා. උසස් පෙළ දක්වා පාසැල් ගියේ හ/ වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලය‍ට. ඒ අතරතුර හ/ වීරවිල මහා විද්‍යාලය, හ/ අම්බල මහා විද්‍යාලය, මාර/ රාහුල මහා විද්‍යාලය යන පාසැල් වලටද ඇතුළත් වෙලා ඉඳල තියනවා.
‍කොහොම හරි දෙවන වර උසස් පෙළ විභාගයෙන් සමත් වෙලා කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතන‍ය‍ට, පරිගණක විද්‍යා සිසුවෙක් විදියට තේරුණා. විශ්ව විද්‍යාලයේ අවුරුදු තුනක කාලය අවසන් වෙනකොට "System and Network Administration" කි‍යන දේ තමයි මගේ ප්‍රියතම මාතෘකාව වුණේ. ඒ උනන්දුව නිසාම මගේ පළවෙනි රැකියාව "System and Network Administration" සම්බන්ධ එකක් කර ගැනීමට පුලුවන් වුනා.
විශ්ව විද්‍යාලයේ දෙවන වසරේදී පැවැන් වුණු, "Sri Lanka Genius" ප්‍රශ්න විචාරාත්මක තරඟාවලියේදී, එම තරඟ කරුවන්‍ට ‍බෙදා දීම සඳහා ‍‍‍"Customized Ubuntu" ලිනක්ස් සීඩී තැටියක් නිර්මාණ‍ය කිරීමෙන් ඇරඹුනු ලිනක්ස් පිළිබඳ ආසාව නිසාම මගේ රැකියාව "Linux" පාදක කරගත් එකක් බවට පත් වුණා.
මගේ පළමු රැකියාව ලැබුණේ කොළඹ විශ්ව විද්‍යාලයේ "NOC" (Network Operation Center) එකට. එහි 99% භාවිතා වෙන්නේ Linux. UTP (Unshielded Twisted Pair) Cable සෑදීමේ සිට විවිධ Servers Configure කිරීම දක්වා Linux සහ Network පිළිබඳ මනා දැනුමක් ඒ තුළින් ලබා ගත හැකි වුණා.
මේ බ්ලොග් එක ලිවීමට ඒක හේතුවක් වුනේ, ඒ ලබාගත් දැනුම අනිත් අයත් සමඟ ‍බෙදාහදා ගන්නයි. ඒ වගේම Linux, Network හා System සම්බන්ධයෙන් ගැන ආසාවක් තියන අයටත් මේ බ්ලොග් එක ‍‍යම් උදව්වක් වේවි කියල හිතනවා.