Subscribe Twitter

Monday, August 16, 2010

මොනවද මේ Servers

මම අද මගේ දෙවනි බ්ලොග් පෝස්ට් එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බොහොම සරල ඒත් ගොඩක් දෙනාට වැදගත් වේවි කියල හිතෙන මාතෘකාවක්. හැම දෙනාම හොඳට අහල තියන වචනයක් තමා Server කියන්නේ. ඒත් මේ Servers ගැන තවදුරටත් දැන ගන්න ආස අයට මේ පෝස්ට් එක යම් උදව්වක් වේවි කියල හිතෙනවා.
Server කිව්වම හැම දෙනාටම මතක් වෙන්නේ ලොකු පරිගණකයක්. නමුත් ඒකට කියන්නේ Server කියල නෙමෙයි, Server Computer (සර්වර් පරිගණකය) කියලයි. Server එකක් කියන්නේ, යම්කිසි සේවාවක් ලබාදීම සඳහා කැපවී සිටින පරිගණක වැඩසටහනක්(program). මෙහිදී එක් වැඩසටහනක් හෝ කීපයක් වෙන්නත් පුළුවන්. Server Computer එකක් කියන්නේ, මෙවැනි වැඩසටහන් සඳහා වෙන්වූ විශේෂ පරිගණකයක්.
සාමාන්‍යයෙන් Server Computer සඳහා විශේෂ වූ දෘඩංග සහිත පරිගණක භාවිතා කරනවා. ප්‍රොසෙසර් කීපයක්, විශාල රැම් ධාරිතාවයක්, විශේෂ දෘඪ තැටි වර්ග, Network port කීපයක්, ජව සැපයුම්(power supply) දෙකක්, සාමාන්‍යයෙන් Server Computer සඳහා භාවිතා වෙනවා. නොයෙක් ආයතන තමාට අවශ්‍ය ධාරිතාවන්ට, Server වර්ගය අනුව, වැය කල හැකි මුදල අනුව, විවිධ වර්ගයේ Server Computers භාවිතා කරනවා.
උදාහරණයක් විදියට‍ ඒක Server computer Specification(විස්තරයක්) එකක් අරන් පැහැදිලි කරන්නම්.
  • Six-Core Intel® Xeon® ප්‍රොසෙසර් 2ක්.
    මෙවායේ ‍ප්‍රොසෙසර් වේගය(Clock Speed) 3.33GHz පමණ වන ඒවාය. එය අප එදිනෙදා භාවිතා කරන පරිගණක වල වෙග‍යට ආසන්න වුවද මේවායේ කෑෂ් මතකය(Cache Memory L3) 12MB පමණවේ. තවද මෙවැනි ප්‍රොසෙසර් Core 6කින් සමන්විත වූ ප්‍රොසෙසර් 2ක් ඇති නිසා මේවායේ බලය ඉතා අධිකය. එක් ප්‍රොසෙසරයක් 130W පමණ වු ක්ෂමතාවයකින් ක්‍රියාත්මක වේ. බස් වේගය(Bus Speed) DDR3-1333 වේ.
  • 12GB රැම් මතකය(2GB රැම් 6ක් යොදා ගනී)
    මේවායේ මතකය 192GB වැනි ඉතා විශාල අගයකට වැඩි කරගත හැකි අතර රැම් කවුළු(RAM Slots) 18 කින් සමන්විත වේ. බස් වේගය(Bus Speed) DDR3-1333 කි.
  • Raid Controller (redundant array of independent disks)
    සාමාන්‍යයෙන් Server පරිගණක වලට දෘඪ තැ‍ටි කිහිපයක් සම්බන්ධ කරනු ලැබේ. මෙසේ දෘඪ තැටි කිහිපයක් මෙහෙයුම් පද්ධතිය මගින් පෙන්වීම කරදරකාරී බැවින් ස‍හ දෘඪ තැටි වල කාර්යක්ෂමතාවය වැඩි කිරීම සඳහා Raid Controllers භාවිතා කරනු ලැ‍බේ.  මෙමගින් Server පරිගණකයේ ඇති දෘඪ තැ‍ටි සියල්ල එක් දෘඪ තැ‍ටියක් ලෙස පෙන්වන අතර ඒවා‍ ඔනෑම අවස්ථාවක ‍ගලවා මාරු කිරීමද(ක්‍රියාකාරී අවස්ථාවේදී පවා - Hotswap) කල හැකිය. මෙලෙස එක් දෘඪ තැ‍ටියක් ගැලවීමේදි හෝ ක්‍රියා විරහිත වීමකදී, අනෙකුත් දෘඪ තැ‍ටි  තුළ ඇති දත්ත භාවිතයෙන් එම නැතිවූ දත්ත නැවත ලබාගත හැකි වීම Raid වල ඇති විශේෂ ලක්ෂණයකි.
  • 8*150GB (150GB වන දෘඪ තැටි 8ක්)
    Serial-attached SCSI (SAS) සහ Serial ATA (SATA) drives වැනි අ‍ධිවෙගී දෘඪ තැ‍ටි වර්ග‍යන් මේ සඳහා භාවිතා වන අතර මේවා ඕනෑම අවස්ථාවක ගලවා දැමිය හැක(hotswap)
  • 2 Dual Gigabit Ethernet adapters
    එක් Ethernet කාඩ් එකක දෙක බැගින්, 1Gbps ජාල සම්බන්ධක 4කින් සමන්විතය ඒ වාගේම මෙම Ethernet සම්බන්ධක හරහා iSCSI(Internet Small Computer System Interface) Storage Servers, නැතහොත් ජාලගත දත්ත ගබඩා සම්බන්ධ කල හැක.
  • 750W ජව සැපයුම් ‍2ක්
    මෙහි එක් ජව සැපයුමක් අමතර(Redundant) එකක් වන අතර මෙවා ඕනෑම අවස්ථාවක මාරු කල(Hotswap) හැකිය. ජව සැපයුම් ‍2 ම ඇති විටදී ඒ දෙකම එකවර අඩු ක්ෂමතාවයකින් ක්‍රියාත්මක වන අතර එකක් අක්‍රිය වුවහොත් හෝ ගලවා දැමුවහොත්,  ඉතිරි ජව සැපයුම් ‍මගින් Server පරිගණකය අක්‍රිය නොවී පවත්වාගෙන යයි.
  • සාමාන්‍යයෙන් Server පරිගණක වල වීඩියෝ මතකය, සවුනඩ් කාඩ්ස් යන ඒවා එතරම් සලකා බලන්නේ නැත. එනමුත් සාමාන්‍ය ප්‍රමාණයේ වීඩියෝ මතකයක්ද, ‍මූසික/යතුරු පුවරු සම්බන්ධක‍යන්ද (Mouse/Keyboard Connector) අන්තර්ගතව ඇත.
DL380 G6 වර්ගයේ Server පරිගණකයක ඇතුලත
(විශාල කර බැලීමට Click කරන්න)

ගොඩක් Server පරිගණක කෙළින්ම මොනිටර් ආදියට සම්බන්ධ කරගෙන පාවිච්චි කරන්නේ නෑ.  ඒවා තැන්පත් කිරීමට විශේෂ පාරිසරික තත්ත්ව (උෂ්ණත්වය, ආර්ද්‍රතාව වැනි) යටතේ ඇති Server Rooms නැත්නම් Data Center වගේ විශේෂ ස්ථාන සකස් කරල තියනවා. වෙනත් පාලක ස්ථානයක(Operation Center) ඉඳගෙන දුරස්ථව(Remote Login) තමයි මේ Server පරිගණක වලට සම්බන්ධ වෙන්නේ.
නමුත් ඒවායේ මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කිරීමට හා දුරස්ථව සම්බන්ධ විය නොහැකි අවස්ථාවන් වලදී Server පරිගණක කෙළින්ම මොනිටර, මූසික හා යතුරු පුවරුවට සම්බන්ධ කිරීමට සිදුවෙනවා. ඒ නිසා Server පරිගණක,  Server Rooms(Data Center) තුළ ඇති KVM Switch නැමති විශේෂ උපකරණයක් හරහා මොනිටරය, මූසිකය හා යතුරු පුවරුවට සම්බන්ධ කෙරෙනවා.
මේ KVM Switch එක කියන්නේ සරල උපකරණයක්. ඒ උපකරණයට පරිගණක කිහිපයක ඇති මොනිටර, මූසික හා යතුරු පුවරු ප්‍රතිදාන(Output) සියල්ලම ස්විචයක් හරහා එක මොනිටරයකට, මූසිකයකට හා යතුරු පුවරුවකට සම්බන්ධ කරන්න පුඵවන්.
සාමාන්‍ය KVM ස්විචයක් මොනිටරය, මූසිකය හා යතුරු පුවරුව සහිත KVM ස්විචයක්

කෙ‍සේ වුවත් අපි සාමාන්‍යයෙන් භාවිතා කරන පුද්ගලික පරිගණකය හෝ ලැප්ටොප් පරිගණකය උණත් Server Computer එකක් බවට පත් කරගන්න පුළුවන්. ඒ සම්බන්ධව ඉදිරි ලිපි වලදී කතා කිරීමට බලා පොරොත්තු වෙනවා.
ඒ වාගේම ඉහත සඳහන් කල කරුණු සහ උපකරණ ගැනත් ඉදිරි ලිපි වලදී වැඩි විස්තර සහිතව කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම ලිපියේ සඳහන් කරුණු සම්බන්ධව හෝ මේ බ්ලොගය සම්බන්ධව යම් ගැටළු, යෝජනා, චෝදනා තියෙනවනම් ඒවා කමෙන්ටුවකින් සඳහන් කරන්න.

10 comments:

අසුරයා said...

කියලා තියෙන ටික නම් තේරෙනවා. ගැටළු නම් නෑ. කියන්න තරම් යොජනා නම් නෑ. චෝදනා කියලා දෙයකුත් නෑ. එච්චරයි.

chanux said...

හොඳ ආරම්භයක්. දිගු ගමනකට සුභ පතනවා :)

Anonymous said...

නියම ලිපියක්... නිතරම servers වලට remote login වෙලා වැඩකලත් ඕක ගැන එච්චර හිතන්න යන්නෙ නැහැ. මමත් මේකෙන් සෑහෙන දෙයක් ඉගෙනගත්තා.

Pahan said...

එල එල. හොඳ ආරම්භයක්. ඔහොම යං.

vpsupun said...

ස්තූතියි හැම දෙනාටම ... :)

sanjaya86 said...

You have done a great job.
keep it as it is.

Namal Madusanka said...

එල එල ගොඩක් ප්‍රයෝජනවත්.......
ඉදිරියට ලියන BLOGS මීට වඩා හොදට ලියන්න. :)

Anonymous said...

great job ayya,

කෝලමා said...

ප්‍රයෝජනවත් ලිපියක් !. ස්තූතියි !

Anonymous said...

patta

Post a Comment